නිර්මාණාත්මක
සන්නිවේදනය - 02
සිංහල ගීතයේ
සන්නිවේදන ලක්‍ෂණ
මිනිසා සතු
මූලික අවශ්‍යතා රාශියකි. ආහාර, නිවාස, ඇඳුම්-පැළඳුම්
වැනි දෑ අතරට වර්තමානයේ බොහෝ අංග එක්වී පවතී. අධ්‍යාපනය ලැබීම, තම ශාරීරික සෞඛ්‍යය
හා මානසික සෞඛ්‍යය නිරෝගීව පවත්වා ගැනීම,
සුදුසු
රැකියාවක නියැලීම හා ආවහ-විවාහයේ නිදහස මෙන් ම සිතීමේ-විමසීමේ නිදහස ද වර්තමානයේ
මූලික අවශ්‍යතා යටතට ගැනේ. රසවින්දනය පුද්ගලාබද්ධ වුවද ඒ ඒ පුද්ගලයා සතුව අඩු-වැඩි
වශයෙන් මෙම රසවින්දනය පවතී. තමා කැමති ආකාරයකින්,
ශික්‍ෂිත
ක්‍රමයක් ඔස්සේ සිය රසවින්දනය සංතර්පනය කර ගැනීම ද මිනිසා සතු මූලික අවශ්‍යතාවක්
ලෙස හඳුනාගත හැකිය. වර්තමාන සමාජගත මිනිසා බොහෝ සෙයින් කාර්යබහුලවී තිබේ. නොනිත්
ආශාවන් පසුපසු හඹායාමේ ප්‍රතිඵලයක් වශයෙන් යාන්ත්‍රීයකරණය වූ පුද්ගලයින් අද සමාජය
තුළ දැකගත හැකි නමුත්, මුදල් මූලික
කරගත් ආර්ථික රටාවක් උරුම කරගත් අද මිනිසා තුළින් වුව ද මෙම රසවින්දන ශක්තීන්
සම්පූර්ණයෙන් බැහැර නොවූ බව මිනිස් සමාජය සියුම්ව විමර්ශනය කිරීමේ දී පැහැදිලි වේ.
මිනිසාගේ
රසවින්දන ශක්තිය උරගා බැලෙන සෙසු මාධ්‍ය අතර,
ප්‍රධාන මාධ්‍යක් වශයෙන් ‛ගීතය’ හඳුනාගත
හැකිය. රසවින්දන ශක්තිය කෙබඳු වුව ද සියළු පුද්ගලයෝ තම අභිමතය පරිදි සිය රසවින්දන
අවශ්‍යතාව සංතර්පනය කර ගනිති. මේ සඳහා ඔවුන් බහුලව ආශ්‍රය කරගනු ලබන කාරකය වන්නේ
ගීතය නමැති කලා මාධ්‍යය යි. සිංහල සිනමාව,
නවකතාව,
වේදිකා නාට්‍ය, චිත්‍ර
ශිල්පය වැනි කලා මාධ්‍යයන් හා සංසන්ධනය කිරීමේ දී ගීතය නමැති කලා මාධ්‍යයට
පුද්ගලයින් තුළ ප්‍රමුඛස්ථානයක් ලැබී ඇති බව සඳහන් කිරීම අතිශයෝක්තියක් නොවේ. කලා
මාධ්‍යයක සාර්ථකත්වය මනිනු ලබන ඒකකයක් ලෙස ‛ජනප්‍රියතාව’ උචිත
නොවූව ද ගීතය නමැති කලා මාධ්‍යය අන් සියල්ල අභිභවා වර්ධනයවී ඇති ආකාරය නිහතමානීව
පිළිගත යුතුය.
කිසියම්
කලා මාධ්‍යයක අරමුණ වන්නේ ‛ආනන්දයෙන් ප්‍රඥාව’
දක්වා මනස මෙහෙයවීමයි. ගීතය නමැති කලා
මාධ්‍යයට ද මෙම ධර්මතාව පොදු වේ. ගීතයක් ශ්‍රවණය කරන විට අප මනස තුළ ආනන්දයක්, වින්දනයක්
ඇතිවේ. නමුත් එය ප්‍රඥාව දක්වා වර්ධනයවීමට නම් එම ගීතය තුළ කිසියම් ජීවන දර්ශනයක්
රැගත් පණිවිඩයක් ඇතුළත් විය යුතුය. එසේ නොවන ගීත අද කාලයේ ද බොහෝ සෙයින් දක්නට ඇති
අතර එවැනි ගීත, ප්‍රබල හඬක් පමණක් නිකුත් කරන,
නමුත් අභ්‍යන්තරය හිස් ‛බෙරයකට’ සමාන
කළ හැකිය.
මියුරු හඬින්
ගෙවිලියක සිය පැලේ සිට ගීතයක් ගැයුවාය. ජීවිතයේ අනිත්‍ය ස්වභාවය පිළිබඳ අන්තර්ගත
වූ එම ගායනය අසා මහමඟ වඩිමින් හුන් භික්‍ෂූන් වහන්සේලා සැට නමක් රහත් භාවය ලබාගත්
බව වංගීස සංයුක්ත අටුවාවේ සඳහන් වේ. ගෙවිලියකගේ
ගීතයක් ශ්‍රවණය කළ පමණින් ඒසා මහත් වූ චිත්ත විපර්යාසයක් ඇතිවීමට හේතු වූ කාරණය
කුමක් ද ? ගෙවිලියගේ ගීතය
කුමන ආකාරයක බලපෑමක් භික්‍ෂූන් වහන්සේලා කෙරේ ඇති කළේ ද ? මේ සියල්ලට
හේතුව නම්, ගෙවිලිය විසින්
ගායනා කරන ලද ගීතයේ අන්තර්ගතය, මනා
අයුරින් භික්‍ෂූන් වහන්සේලා වෙත සන්නිවේදනය වීමයි.
‛‛පුද්ගලයින්
දෙදෙනෙකු අතර සමාන මනෝ වෘත්තියක් ඇති කිරීම සන්නිවේදනය බව’’ ‛විල්බර් ශ්රාම්’ ගේ අදහසයි.
සන්නිවේදන කාර්යයක් මනාව සිදුවීමට නම්,
අංග
පහක් සම්පූර්ණ විය යුතුය. එනම්, පණිවිඩය
නිකුත් කරන්නෙකු හෙවත් ‛සන්නිවේදකයෙකු’ (Communicator)
සිටිය
යුතුය. ඔහු විසින් උචිත කිසියම් ‛මාධ්‍යක්’ (Media)
හරහා
කිසියම් ‛පණිවිඩයක්’ (Massage)
ඉදිරිපත්
කළ යුතුය. එම පණිවිඩය ග්‍රහණය කර ගැනීමට ‛ග්‍රාහකයෙකු’ (Receiver)
සිටිය
යුතු අතර ග්‍රාහකයා විසින් පෙරළා සන්නිවේදකයා වෙත ‛ප්‍රතිචාර’ ( Feed-back )
දැක්වීමෙන්, සන්නිවේදන ක්‍රියාවලිය
සම්පූර්ණ වේ. ගෙවිලිය නමැති සන්නිවේදිකාව,
ගීතය
නමැති මාධ්‍යය හරහා ජීවිතයේ අනිත්‍යතාව නමැති පණිවිඩය භික්‍ෂූන් වහන්සේ නමැති ග්‍රාහකයා
වෙත ප්‍රක්ෂේපණය කළ අතර භික්‍ෂූන් වහන්සේලා රහත් භාවයට පත්වීම නමැති ප්‍රතිචාරයෙන්, උක්ත සඳහන් කළ
සන්නිවේදන කාර්යය සම්පූර්ණ විය.
සන්නිවේදන
ක්‍රියාවලිය ආකාර දෙකකට සිදු කළ හැකි බව විද්වතුන්ගේ මතය යි. එනම්, ‛ඍජු සන්නිවේදනය
හා වක්‍ර සන්නිවේදනය’ යනුවෙනි.
කිසියම් පණිවිඩයක් කෙළින් ම ග්‍රාහකයා වෙත ප්‍රක්ෂේපණය කිරීම ඍජු සන්නිවේදන
කාර්යයේ දී සිදු වේ. වෙළඳ දැන්වීම් ආදියෙහි දක්නට ලැබෙනුයේ ඍජු සන්නිවේදනය යි. ඍජු
සන්නිවේදනයේ දී මෙන් වක්‍ර සන්නිවේදනයේ දී පණිවිඩය ග්‍රාහකයා වෙත කෙළින් ම
ඉදිරිපත් නොවන අතර සන්නිවේදන කාර්යය තුළ පණිවිඩයක් අන්තර්ගත වන්නේ ද යන්න පිළිබඳව
පවා ග්‍රාහකයාට එක එල්ලේ වටහා ගත නොහැකිය. නමුදු ග්‍රාහකයා එම සන්නිවේදන ක්‍රියාවලියට
ආකර්ශනය වනුයේ එහි ඇති නිර්මාණාත්මක ස්වරූපය නිසාවෙනි. නිර්මාණාත්මක ස්වරූපයක් ගත්
සන්නිවේදන ක්‍රියාවලිය තුළ ගැබ්ව ඇති රසය,
ග්‍රාහකයා
තුළ පළමුව ආනන්දයක් ඇති කරයි. එහි රසයට ලොල් වූ ග්‍රාහකයා, විවේක
බුද්ධියෙන් යුක්තව විමසීමේ දී අදාළ සන්නිවේදන ක්‍රියාවලිය තුළ සැඟවී තිබූ පණිවිඩය
මනාව තේරුම් ගනියි. මෙය ප්‍රඥාව ඉපදවීමක් ලෙස වටහා ගත හැකිය. කෙසේ වුව ද මෙම
අවස්ථා දෙකේ දී ම සිදුවන සන්නිවේදන ක්‍රියාවලිය ‛ නිර්මාණාත්මක සන්නිවේදනය’ (Creative Communication) ලෙස
හඳුනා ගත හැකිය. සන්නිවේදන විද්‍යාඥයින් පෙන්වා දෙනුයේ, සන්නිවේදන ක්‍රියාවලියේ
නිර්මාණාත්මක භාවය මත එහි සාර්ථකත්වය රැඳී ඇති බවයි.
නිර්මාණාත්මක
සන්නිවේදන ක්‍රියාවලියේ ප්‍රබලතම මාධ්‍යය ලෙස ‛ගීතය’ හඳුනා ගැනීම
යුක්ති යුක්තය. මක්නිසාද යත් ගීතය මගින් ග්‍රාහකයාගේ හදවතටත් බුද්ධියටත් එක්වර
ආමන්ත්‍රණය කළ හැකි නිසාවෙනි. ගීතය යනු මනාව ගායනා කළ හැකි පදමාලාවකි. එම පදමාලාව
කිසියම් තනුවකට අනුව, මාධූර්යයෙන්
යුක්තව ගායනා කිරීමෙන් ගීතයක් බිහි වේ. මව්තුමෝ සිය දරුවා නැළවීම සඳහා ගායනා කරන
පහත දරු නැලවිලි ගීතය, සුගායනීය බවෙන්
පරිපූර්ණ වන අතර ව්‍යංග වූ අර්ථය තුළින් දරුවාගේ පෞරුෂ වර්ධනය ඉස්මතු කරන ආකාරය
හෙළ ජන ගී කාව්‍ය නිර්මාපකයාගේ ප්‍රතිභාවෙන් මනාව ගම්‍ය කර ඇති ආකාරය බලන්න.
ඔන්න බබෝ ඇතින්නියා
ගල් අරඹේ සිටින්නියා
ගලින් ගලට පනින්නියා
බබුට බයේ දුවන්නියා
කෙටිකතාවක්
නවකතාවක් කාව්‍යයක් වැනි කලා නිර්මාණ හා සසැඳීමේ දී ගීතය ස්වාධීන නිර්මාණයක් ලෙස
හඳුනාගත නොහැකිය. ගීතයකට තිදෙනෙක් දායකයෝ වෙති. ගීත රචකයා, සංගීතඥයා සහ
ගායකයා ඒ අතර වෙයි. ගීතයක් යනු කකුල් තුනක කනප්පුවක් යැයි මහගම සේකරයෝ වරක්
පැවසුවේ නිර්මාණාත්මක ගීතයක සාර්ථකත්වය උදෙසා මේ තිදෙනාගේ දායකත්වය සමානව ලැබිය
යුතු බව අවබෝධ කරගත් නිසාවෙනි. එක් දායකයෙකුගේ දායකත්වය තරමක් හෝ අඩුවුව හොත් හෝ
වැඩිවුව හොත් එහි සමබරතාව බිඳී යයි. වර්තමාන ගීත ක්‍ෂේත්‍රයේ මේ තිදෙනාට අමතරව රූප
රචනයෙන් ද සිව් වැන්නෙකුගේ සහාය ලබා ගන්නා බව පෙනී යන අතර එය ගීතයේ නිර්මාණාත්මක
බව වැඩි කිරීම සඳහා බහුලව භාවිත කරයි. ගෙවිලියගේ ගීතය සහ වර්තමානයේ නිර්මාණය වන
ගීත අතර බොහෝ වෙනස්කම් ඇති මුත් ගීතයේ මුඛ්‍ය පරමාර්ථය එදා සහ අද අතර එතරම් වෙනසක්
ඇතැයි පිළිගත නොහැකිය. මක්නිසාද යත් ආනන්දනීය නිර්මාණයක අවසන ප්‍රඥාව වර්ධනය කිරීම
මූලික වන බැවිනි.
ගීතයක් නිර්මාණය
කිරීම සඳහා දායක වන දායකයින් සන්නිවේදකයින් වන අතර ගීතය මාධ්‍යය බවට පත්වේ. ගීතය
තුළ ඇති අන්තර්ගතය පණිවිඩය වන අතර ගීතය ශ්‍රවණය කරන්නා ග්‍රාහකයා වේ. ගීතයෙහි
ගැබ්ව ඇති අර්ථය තුළින් ග්‍රාහකයා කිසියම් ජීවිතාවබෝධයක් ලබයි නම්, එය ප්‍රතිචාරය
වන අතර එමගින් සන්නිවේදන ක්‍රියාවලිය සම්පූර්ණ වේ. ගීතයක සාර්ථකත්වය උදෙසා උක්ත
ගුණාංග සියල්ල අවශ්‍ය වුව ද මනා සන්නිවේදන ක්‍රියාවලියක අවසානයේ ග්‍රාහකයා කිසියම්
ජීවිතාවබෝධයක් ලැබීමට ගීතයේ අන්තර්ගතයෙහි සාර්ථක පණිවිඩයක් අන්තර්ගත විය යුතුය.
ගීතයක පදමාලාව මේ සඳහා සුවිශේෂ කාර්යභාරයක් ඉටුකරනු ලබයි. එබැවින් ගීතයක පදමාලාව
කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතුය.
දිනක්
මනහර ස්ත්‍රියක් තනිමග ගමනක් යනු සළෙළු තරුණයෙක් දක්නා ලදි. සිය අදහස ඇය වෙත ප්‍රකාශ
කළහැකි සුදුසු අවස්ථාව මේ බව වටහාගත් ඔහු ඈ වෙත ස්වකීය හැඟීම ළගන්නා අයුරින් ප්‍රකාශ
කළහ.
උස්සාගෙන
නෙරිය අතකින් කිම් ද
නගෝ
වසාගෙන
දෙතන අතකින් කිම් ද නගෝ
සැමියා
නැති මග තනිමග කිම් ද නගෝ
අම්බලමේ
නැවතීලා යමු ද
නගෝ
තරුණයාගේ අදහස
ක්‍ෂණිකව වටහාගත් විවාපත් ඇය, ඔහුගේ
සිත නොරිදෙන අයුරින් නිර්මාණශීලීව සිය නොකැමැත්ත මනාව සන්නිවේදනය කළාය.
උස්සාගෙන
නෙරිය මඩ තැවරෙන
හින්දා
වසාගෙන
දෙතන බිළිඳුගෙ කිරි
හින්දා
බාල
මස්සිනා පස්සෙන් එන
හින්දා
යන්නම්
අයියන්ඩි ගමරට දුර
හින්දා
උක්ත ජන ගීය, ගීතයකට අනුභූතිය
කරගත් මහාචාර්ය සුනිල් ආරියරත්නයන් මෑතක දී සාර්ථක ගීයක් ප්‍රතිනිර්මාණය
කළහ. ඩබ්ලිව්. ඩී. අමරදේවයන්ගේ ගී තනුවට මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් රචනා
කරන ලද, වික්ටර් රත්නායක
සමග නීලා වික්‍රමසිංහ විසින් ගායනා කරනු ලබන
නිර්මාණාත්මක
ලක්‍ෂණය ඉයවහා ගිය මෙම ගීතය, ජනගීය
සමතික්‍රමණය කර ඇති අතර රසිකයාගේ ආනන්දය ප්‍රඥාවක් දක්වා වර්ධනය කරන ආකාරය ප්‍රසංසනීය
වේ. ඇය විවාපත් ස්ත්‍රියක් බවත්, කිරි
දරුවෙක් ද සිටිනා මවක් බවත් මනා සංයමයෙන් යුක්තව තරුණයා වෙත සන්නිවේදනය කරන ආකාරය
විශිෂ්ට ය.
පි :
නගේ නගේ වැහි එනවා පැලට වරෙන්නේ
අකලට ආ වැහි
කෝඩෙට මොට ද තෙමෙන්නේ
ගැ
:
වැහි
බීරුම හීන් පොදයි ඇඟේ වදින්නේ
මහ
වැස්සට ගෙට වෙන්නයි හනික දුවන්නේ
පි
:
ගෙදර
අයත් ගමේ ගිහින් පාළු දැනෙන්නේ
වැස්ස
තුරල් වෙනතුරු ටිකකට නවතින්නේ
ගැ
:
කිරට
අඬන බිළිඳු පුතා ඇති සාගින්නේ
පමා නොවී මම
යන්නම් තරහ නොවන්නේ
මිනිසාගේ
පාළුව, කාන්සිය මග හරවා
ගැනීමටත් ස්වකීය විනෝදාස්වාදය සඳහාත් බිහි වූ ගීතවලින් පරිබාහිරව, විවිධ අවස්ථා
අළලා බිහි වූ තවත් එක් ගීත
සාහිත්‍යයක් ලෙස උපදේශාත්මක ගීත කලාව හඳුන්වා දිය හැකිය. එතුළින් සන්නිවේදකයින්
සෘජු සන්නිවේදන අදහස් ඉදිරිපත් කරන ලදී. උපදේශාත්මක ගීත කලාව තුළින් යම් යම්
අවස්ථාවල ආවේගාත්මක ගීත ප්‍රබන්ධ වූ නමුත්,
එවා
නිර්මාණශීලීත්‍වය අතින් අගතැන් , අත්
කරගත් නිර්මාණ විය.
ශ්‍රී
ලංකාව නිදහස් සටනට අවතීර්ණ වීමත් සමගම ,
ජාතික
නිදහස උදෙසා විසිවන සියවසේ මුල් දශක කිහිපය තුළ මහත් උද්යෝගයක් ඇති විය. මේ නිසාම
එවකට තිබූ ජන මාධ්‍යය , එනම් ගුවන්
විදුලිය, පුවත්පත් ආදිය
ඔස්සේ රටේ ජනතාවගේ උද්යෝගය තව තවත් වර්ධනය වන ආකාරයේ කවි, ගීත, දේශනාදිය
ඉදිරිපත් කෙරිණ. ජාතික නිදහස් සටන උදෙසා රටේ ප්‍රභූ පන්තිය මෙන්ම මධ්‍යම පන්තියත්
සුළු ජාතිකයාගේ පටන් ලක්වැසි සියල්ලෝම විවිධාකාරයෙන් දායකත්‍වය සැපයූ අතර මේ පිරිස
අතර පූජ්‍ය පක්‍ෂයට ද හිමි වන්නේ විශේෂ ස්ථානයකි. ශ්‍රී ලාංකිකයෙකු නොවූ ටිබෙට්
ජාතික එස් මහින්ද හිමියන් ශ්‍රී ලාංකාවේ ජාතික නිදහස් සටනට දායකත්‍වය දැක්වූයේ
සිය නිර්මාණශීලී ප්‍රතිභාව අපූර්ව ලෙස ප්‍රයෝජනයට ගනිමිනි. ජාතික නිදහස
වෙනුවෙන් ජනතාව කුළු ගැන්වීමෙහි ලා එම නිර්මාණවලින් සිදු වූ පිටිවහල අති මහත්ය. ජනතාව තුළ වූ
පරාජිත සිතුවිළි ඉවත් කොට ඔවුන්ගේ නිදහස් සිතුවිළි අවදි කරලීමේ අරමුණින් උන්
වහන්සේ කළ නිර්මාණ තරමක් ආවේගශීලී වුවද,
එහි
අන්තර්ගතය ජනතාවට මනාව සන්නිවේදනය වන අයුරින් සංයමයෙන් යුක්තව ගීතයට නගන්නට හැකිව
තිබීම ප්‍රශංසනීය වේ. එමෙන්ම ජාතික හැඟීම මුදුන් පත් කරමින් ජාතික අනන්‍යතාව
ඉස්මතු කිරිමට ජනතාව හුරු කරවීමේ මනා සන්නිවේදන කාර්යයක් ඉටු කිරීමට එස් මහින්ද
හිමියන් රචිත , සුනිල් එදිරිසිංහයන්
ගයන මෙම ගීතය සමත් වී ඇත.
ලක් වැසියන්
කෙරෙහි නැමී - අරහත් මහ මිහිඳු හිමී
හෙව්වෙ උතුම්
සඳහම් මී - පුත
නුඹටත් පොවමි එ මී
ජාතිය රන්
විමනක් වේ - ආගම මිණි පහනක් වේ
එය රැක ගන්නට මෙ
ලොවේ - සමත්
වෙතොත් පුත නුඹ වේ
ශ්‍රී ලංකාවේ
ගීත සාහිත්‍යයේ අතීතය සිංහාවලෝකනය කිරීමේදී ඉතා උසස් ගී නිර්මාණ දැකගත හැකි තවත්
අංශයකි, ළමා ගීත. ළමා
ගීත සාහිත්‍යයක් බිහි කිරීමේදී විශේෂයෙන් අවධානය යොමු කළ යුත්තේ ළමා මනස පිළිබඳව
ය. ළමා මනසට උචිත අයුරින් ද, තේරුම්
ගත හැකිවන අයුරින් ද සන්නිවේදනය කිරීම වැදගත් වේ. මෙම සියළුම අංග සපුරා ලූ ඉතා
විශිෂ්ට ළමා ගීත සාහිත්‍යයක් ලක්වැසි අප සතුව තිබීම වාසනාවකි. සමාජ පුරුෂාර්ථ
සාධනය කරනු වස් මෙම ගීත මගින් ලබාදෙන නායකත්‍වය පැසසිය යුතුය. වැඩිහිටියන්ට සැළකීම, අධ්‍යාපනයේ
වටිනාකම, සිරිත් විරිත්
පිළිබඳ අවබෝධය, දේශාභිමානය
වර්ධනය කිරීම, පරිසරයට ආදරය
කිරීම සහ පොදු දේපොළ සුරැකීම වැනි විෂයන් ඔස්සේ සන්නිවේදන ස්වරෑපයෙන් මෙම ගීත රචනා
වී තිබේ. වැඩිහිටි මනසට වඩා නිරවුල් වූද පිවිතුරු වූද ළමා මනස, සමාජයේ දක්නා
ඔිනෑම දෙයක් දැඩිව ග්‍රහණය කර ගැන්මට තරම් විමර්ශණශීලී වේ. තවද ධනාත්මක
සිතුවිළිවලින් පරිපූර්ණ ළමයා තුළින් සාධනීය අනාගත අපේක්‍ෂා බලාපොරොත්තු විය හැකිය.
එමනිසා කුඩා කල සිටම නිවැරදි සමාජානුයෝජනයක අවශ්‍යතාවක් තිබේ.
ළමුන් ගීතවලට
බොහෝ ප්‍රියතාවක් දක්වයි. මේ නිසාම ළමුන් තුළ ධනාත්මක සිතුවිළි වර්ධනය කිරීමට
ගීත සාහිත්‍යයට වැඩි හැකියාවක් තිබේ. ළමා සිතට නීරස වූ දේශන ආදියට වඩා , ඔවුන්ට සමීප වූ
ගීත මගින්
ඔවුන්ගේ පුරුෂාර්ථ වර්ධනය කිරීම ඉතා පහසුය. සරළ භාෂාවක් භාවිත කරමින් ළමා මනස තුළ
විචිත්‍ර දසුනක් මැවිය හැකි අයුරින් රචනා වී ඇති මෙම ගීතය ඊට කදිම නිදසුනකි.
උදෑසනම පොඩි අපි
දිව එනවා
කොහේද සැඟවී
එළියට එනවා
උදේ පාන්දර
පාසැල් යන්නට
බසයක් ඇවිදින්
කථා කරනවා
මේ පොඩි බස් රිය
ඔබේය සිතලා
කුරුටු ගෑම හොඳ
නෑ ඉරි ඇඳලා
අසුන් කඩා සිඳ
දමා නොයන්නේ
ඔබේය මේ බස් රිය
රැක ගන්නේ
ශ්‍රී ලාංකික ජන
ජීවිතය ගීතවත්ය. විවිධ අවස්ථාවන්වලදී ඔවුන් ගායනය භාවිත කරයි. පැල් රැකීම, ගොයම් නෙළීම ආදී
සියලු ජන ජීවිතාංගයන් සමඟ මෙම සුගායනීයත්වය අවියෝජනීය බද්ධතාවකින් යුක්ත විය. එසේ
ම වන්දනා ගමන් වැනි අවස්ථාවන්වලදී ද මෙය දක්නට ලැබිණ. මේ සෑම අවස්ථාවකදීම ඔවුන් තම
ගායනය සඳහා තේමා කරගත්තේ බුදුගුණයි. ඒවායෙහි ශ්‍රද්ධාවත්, සාමූහිකත්වයත්
ගැබ්ව ඇති බව සන්නිවේදනාත්මක අර්ථය ගෙන බැලීමේ දී මැනවින් පැහැදිලි වේ. තම
වෘත්තියට අනුව පබැඳි නිර්මාණාත්මක ලක්‍ෂණ අතින් පොහොසත් කවි සංකල්පනා ද ඒ අතර
වෙයි. පැල් ගී, ගැල් ගී, බඹර කවි, පතල් කවි, පාරු කවි වැනි
කවි තුළින් ද සන්නිවේදනය වන්නේ සිය වෘත්තිය තුළ ඇති කර්කෂ, කඨෝර බවයි. කෙසේ
වුවත් ජන ජීවිතය මෙන් ම ඔවුනගේ වෘත්තිය හා බද්ධ වූ බොහෝ අංගෝපාංග අන්තර්ගතය සඳහා
භාවිත කරමින් කළ නිර්මාණ, අතීත ජනයාගේ
කලාත්මක හා සන්නිවේදන හැකියාවන් අද ද විස්මය උපදවයි.
ගීත නිර්මාණයන්
තුළ විවිධ විෂය ක්‍ෂේත්‍රයන්ට අදාළ වන අයුරින් අර්ථ ගැන්වූ පදමාලා පවතී. ජන
විඥානයට ආමන්ත්‍රණය කරන ජනවහර මුසු ජන සන්නිවේදනාත්මක අර්ථ රැගත් ගීත මෙන් ම
ධනවාදී හා සමාජවාදී අර්ථ රැගත් ගීත ද බහුලය. රටක සංවර්ධනය හා ප්‍රගමනය උදෙසා ද
ගීතය මහත් දායකත්වයක් සපයයි. අලසව මහ සයුර වෙත ගලා ගිය මහවැලි ගඟ කෙත්වතු
සරුසාර කරමින් රජරට බලා ගමන් ඇරඹූ දා අබේවර්ධන බාලසූරියගේ මධුර මනෝහර ගීතයෙන්
මුසපත් වූ රජරට මෙන්ම අන්‍ය පෙදෙස්වල රසිකයින් ද සිය අත්දැකීම මසැසින් මෙන්ම
මනසින් ද විඳි ආකාරය අද එම ගීතය අසනු ලබන රසිකයාගේ සිත තුළ ද ජනිත කරවයි. නමුත්
මෙම ගීතය තූළ තරුණියකට කරනු ලබන ආරාධනාවක ව්‍යාජයෙන් ලියැවුණු මතුපිට අර්ථය
විනිවිද යන සැඟවුණු සන්නිවේදනාත්මක අර්ථය ඉදිරිපත් කර ඇති ආකාරය නිර්මාණශීලීය.
ගංගා එන්නකෝ
ගංගා
මං බලාන ඉන්නේ
ඔබ එනතුරු ගංගා
වියෙළුනු
දෙතොලින් අහස බලාගෙන
දියපොද රහිතව
අකලට මහළුව
බලා සිටිත් දී
මා
පේන ඉසව්වෙන්
මූදු ගියා ඔබ
නෑ නේද ඉතිං යළි
අහක බලන් යන්නේ
කිසියම්
සංවිධානගත කාර්යයක් උදෙසා ම ලියැවුණු ගීත ද අප ගීත
සාහිත්‍යය තුළ පවතී. නිර්මාණශීලීත්වය තුළින් ලියැවුණු මෙම ගීතවල සන්නිවේදනාත්මක
අර්ථය වනුයේ සංවිධානගත කාර්යයේ අප්ක්‍ෂාවන් මුදුන්පත් කිරීමයි. විශේෂයෙන්
වර්තමානයේ පවතින ජයග්‍රාහී යුදමය වාතාවරණය හා ජාතිකාභිමානය ඔප් නැංවෙන අයුරින් කළ
නිර්මාණද බොහෝ විට විද්‍යුත් සන්නිවේදන මාධ්‍ය මගින් නිතර අසන්නට, දකින්නට ලැබේ.
රණවිරුවන්ගේ චිත්ත ධෛර්යය වර්ධනය වන අයුරින් හා තරුණයින්ගේ සිත් හමුදා රණකාමීත්වයට
ආකර්ෂණය කර ගන්නා අයුරින් නිර්මාණය වන පහත සඳහන් ආකාරයේ ගීතවලට අද රූපවාහිනී හා
ගුවන්විදුලි මාධ්‍ය තුළ ප්‍රමුඛත්වයක් ලැබී පවතී. මෙම ගීත තුළින් සන්නිවේදනය වන
අර්ථය, තරුණ හැඟීම් හා
ජවය සමග මිෂ්‍රවීමෙන් සංවිධානගත යුදමය අවශ්‍යතා ඉටු කර ගැනීමේ හැකියාව වර්ධනයවීමත්, සමස්ත ජනතාව
තුළ ජාතිකාභිමානී හැඟීම් කුළු ගැන්වීමටගත් උත්සාහයනුත් සාර්ථකවී ඇති බව වත්මන්
සමාජය සියුම්ව විශ්ලේෂණය කිරීමෙන් පැහැදිලි වේ. ඇතැම්විට මෙවැනි සන්නිවේදන ක්‍රියාවලියක්
සඳහා ලියැවුණු ගීත, ප්‍රචාරක
අර්ථයක් ගත්ත ද එහි ඇති නිර්මාණාත්මක ස්වරූපය නිසාවෙන් එම අර්ථය ඉස්මතුව නොපෙනේ.
මුහුද දෙබෑ කරන
අහස පොළොව සිඹින
රටට සෙනෙහෙ පුදන
ලෙයින් මසින්
සැදුන
සැබෑ පියෙකි දරු
සහසකි
මුළු රටේම ලේ
නෑයෙකි
අපේ එකෙකි සිය
දහසකි
ඒ දරු හට මව්
දහසකි
ගීතයකින් ‛සාර සන්නිවේදනයක්’ (Effective Communication) සිදුවීමට
නම්, ගීතයෙන් කියනු
ලබන පණිවිඩය අවබෝධවීමෙන් ඉලක්කගත ග්‍රාහක කොට්ඨාසය වෙතින් ප්‍රතිචාරයක් ලැබිය
යුතුය. ඒ සඳහා අදාළ ග්‍රාහක කොට්ඨාසයට අවබෝධ වන අයුරින් පණිවිඩය නිර්මාණශීලීව
ඉදිරිපත් කළ යුතුය. බස හැසිරවීම කෙරෙහි ද මෙහි දී විශේෂ අවධානයක් යොමුවිය යුතු අතර
ඉලක්කගත ග්‍රාහක සමාජයේ භාවිත භාෂාව භාවිත කිරීමෙන් වැඩි සාර්ථකත්වයක් අත්කර ගත
හැකිය. භාෂාව සංදිග්ධතාවෙන් යුක්ත නම්,
ගීයකින්
සන්නිවේදනය කරනු ලබන පණිවිඩයේ අර්ථය ව්‍යාකූල විය හැකිය, වෙනස් විය
හැකිය.
ඇතැම් ගීත
ශාස්ත්‍රීය ගීත වේ. තවත් ගීත සම්ප්‍රදායකි සරළ ගීත. ශාස්ත්‍රීය ගීත බුද්ධිමත්
රසිකයා සේවනය කරන අතර සරළ ගීත පොදුවේ සැමගේ ආනන්දයට හේතුවේ. නන්දා මාලනිය
විසින් ගායනා කරනු ලබන පහත ගීතයෙහි ඇති මතුපිට අර්ථය ඉක්මවා යන සැඟවුණු අර්ථයෙන්
ධ්වනිත වන්නේ බිරිඳකගේ සුන් වූ බලාපොරොත්තු ය. බිරිඳකගේ බලාපොරොත්තුව සිය සැමියා
සහ පෙම්වතුන් වී සිටි යුගයේ දී මෙන් ආලය සහ අවධානය වඩාත් හොඳින් ලබා ගැනීමයි.
නන්දා මාලිනියගේ මේ ගීයෙන් සියළු සැමියන් වෙත සන්නිවේදනය කරන්නේ එම පණිවිඩය නොවේ ද
?
මගේ සඳ, මගේ
සඳ ඔබ
එදා සඳ නොව, මෙදා සඳ ඔබ
මගේ සඳ ඔබ, මගේ...
එදා මට ඔබ සරා
සඳ විය
කවි ඇසින් දුටු
සොඳුරු පියකරු
අඳුරු හද ගැබ
එකළු කරමින්
උදාවිය ගිරි
ශිකර සිරසේ ...
කිනම් ආකාරයක
ගීතයක් වුව ද එමගින් ඉදිරිපත් කරනු ලබන පණිවිඩය තුළින් ග්‍රාහකයා කිසියම් ප්‍රතිචාරයක්
දක්වන්නේ නම්, එම ගීතය
සන්නිවේදනාර්ථය අතින් සාර්ථක ගීතයක් ලෙස හඳුනා ගත හැකිය. අර්ථාන්විත ගීතයකින් මනා
වූ සන්නිවේදන කාර්යයක් සිදුවේ. ග්‍රාහකයාගේ චිත්තානන්දය වර්ධනය කිරීම එහි ප්‍රථමයෙන්
සිදුවන කාර්ය වේ. ආනන්දයෙන් ප්‍රමෝදිත ග්‍රාහකයා අනතුරුව ගීතයෙන් ඉදිරිපත් වූ
අර්ථය වටහා ගනී. එවිට ග්‍රාහකයා තුළ ප්‍රඥාව උපදී. රටක සංවර්ධනය උදෙසා වන සංවර්ධන
ආකල්ප කිසියම් අර්ථාන්විත පදමාලාවකින් ඉදිරිපත් කර එය ගීතයක් දක්වා වර්ධනය
කිරීමෙන් රටක සංවර්ධන කාර්යය උදෙසා වූ අත්‍යවශ්‍ය අංගයක් වන සමාජගත ජනතාවගේ
මානසිකත්වය, ඔවුන් තුළ
නොදැනීම වර්ධනය කරගත හැකිය. එබැවින් රටක සංවර්ධනය උදසා වන සංවර්ධනාත්මක
සන්නිවේදනයක් ද (Development Communication) ගීතය
තුළින් අරමුණු කර ගත හැකිය.
වර්තමානයේ බොහෝ
සෙයින් දක්නට ලැබෙනුයේ හරසුන් ගීත නිර්මාණයන් ය. ඇතැම් ගීත කිසිඳු සම්බන්ධයක්
නොමැති පදවැල් කිහිපයක් පමණක් ඇති අතර සංගීතය ප්‍රබලව යෙදීමෙන් ඇතැම් රසිකයන් තුළ
මස්පිඩු සෙලවීමට පමණක් එම ගීත සීමාවී ඇත. නමුත් අවසානයේ ලබාගත යුතු ප්‍රඥාවක් එම
ගීත තුළ නොමැත්තේ කිසිඳු වැදගත් පණිවිඩයක් එම ගීත තුළ අන්තර්ගත නොවන බැවිනි. එසේ ම
එවැනි ගීත තුළින් කිසිඳු සන්නිවේදන කාර්යයක් ද සිදු නොවේ.
අනෙකුත්
සන්නිවේදන මාධ්‍යයන් හා සසැඳීමේ දී ගීතය නමැති කලා මාධ්‍යය තුළින් සන්නිවේදන
කාර්යයන් ඉටුකර ගැනීම වස් වැදගත් වූ කාර්යභාරයක් ඉටු කර ගත හැකි බව මෙයින්
පැහැදිලි වන්නකි. නිදහස්ව, නිරවුල්
චින්තනයකින් යුතුව ගීතවල අර්ථය වටහා ගන්නේ නම්,
එම
ගීත මගින් සන්නිවේදනය කරන්නා වූ පණිවිඩය අවබෝධ කරගත හැකිවන අතර එවැනි ගීත ශ්‍රවණයෙන්
ආනන්දයක් මෙන් ම ප්‍රඥාවක් ද ඉන් නොනැවතුණු අවැසි සමාජගත කාර්යභාරයක් ද ඉටුකර ගත
හැකිය.
අන්තර්ජාලයේ පළ
වූ ලිපියක් ඇසුරිණි