Wednesday, July 6, 2016

රාමසාන් සමරමු



මාසයක්‌ පුරා පැවැත්වෙන රාමසාන් උපවාස සමය තුළ ඉතා වැදගත් ආගමික, ආචාර විද්‍යාත්මක, දාර්ශනික සහ ප්‍රායෝගික අගයක්‌ ඇත. මසක්‌ පුරා උපවාස ශීලය රැකීමෙන් එය රකින අයට කුසගින්න යනු කුමක්‌දැයි හරි හැටි ප්‍රත්‍යක්‍ෂ වෙයි. එවන් ශීලයක්‌ නොරැක තුන්වේල හොඳින් කා බී කුස පුරවන අයට සෙසු සමාජයේ නිරතුරු කුස ගින්නෙන් පෙළෙන ජනතාව ගැන කල්පනා නොවේ. අසරණ දිළිඳු හා රෝගී ජනයාට ධර්මයේ නියමිත පරිදි සකාත් ප්‍රතිපත්තිය අනුව ආහාරපාන ආදිය හෝ ඒවා මිලට ගැනීම සඳහා මුදල් පරිත්‍යාග කළ යුතු බවට මෙම උපවාස ශීලයෙන් කෙරෙන සිහිගැන්වීම ඉතා වැදගත්ය. 
මුස්‌ලිම්වරුන්ගේ රාමසාන් උත්සවය එක්‌ එක්‌ අවුරුද්දේ පැවැත්වෙන දිනය වෙනස්‌ වෙයි. උත්සවයේ ආරම්භක සහ අවසාන දිනය තීරණය කෙරෙන්නේ ඉස්‌ලාමීය චන්ද්‍ර වර්ෂය සහ චන්ද්‍රයාගේ දර්ශනය පාදක කරගෙනයි. මෙදින මෙරට රාජ්‍ය හා බැංකු නිවාඩු දිනයකි.
මෙම උත්සවයේ නිමිත්ත ඉස්‌ලාම් භක්‌තිකයන්ගේ ශුද්ධ වූ ග්‍රන්ථය වූ අල් කුරානයේ නියම කොට ඇති පරිදි උපවාස ශීලය (Fasting) රැකීමයි.
මෙම උපවාසය ශීලය අල්ලා නම් සර්වබලධාරී දෙවිඳු විසින් ජිබ්රිල් හෙවත් අලෙයි සලාම් නම් තම දූතයා මගින් මහමත්තුමාට කරන ලද එළිදරව්වෙහි ඇතුළත් වූවකි. එය ශුද්ධ වූ කුරාන් ග්‍රන්ථයෙහි ද අන්තර්ගත වන අතර, එම ග්‍රන්ථයේ අඩංගු ඉස්‌ලාම් ධර්මය උසුලා සිටින පංච ස්‌ථම්භයන්ගෙන් (The Five Pillars of the Faith) හතරවැන්න වේ.
ඉස්‌ලාම් ධර්මය දේශනා කළ මහමත්තුමා යනු කවුරුද? මක්‌කම නගරයේ කුරේෂ් නම් බලවත් අරාබි ගෝත්‍රයක එතුමා උපත ලැබීය. එතුමා උපන් දිනට පෙර පියා මියගිය අතර, උපතින් ටික කලකට පසු මව මියගියාය. තම මුත්තණුවන්ගේත්, අබුතාලිබ් නම් බාප්පාගේත්, රැකවරණය මැද හැදුන වැඩුන මහමත්තුමා තුළ වූ අවංක, සත්‍යවාදී සහ පරිත්‍යාගශීලී ගතිගුණ නිසා අල් අමීන් යන නමින් අසල්වැසියන් අතර ප්‍රසිද්ධ විය. එතුමා තරුණ වියේදී (වයස අවු. 25) බදිජා නම් ධනවත් වැන්දඹුව විවාහ කර ගත්තේය. ක්‍රමයෙන් භාවනාව ඇතුළු ආධ්‍යාත්මික චින්තනයට නැඹුරු වූ මහමත්තුමා හමුවට පැමිණි අල්ලා දෙවිඳුගේ ජිබ්රිල් නම් දේව දූතයා එම දෙවිඳුගේ පණිවුඩය එතුමාට අනාවරණය කළේ ඒ සමයෙහිය.
එතැන් සිට මහමත්තුමා අල්ලා දෙවිඳුගේ එම පණිවුඩය දේශනා කරන්නට විය. ඊට එරෙහි වූ පිරිස්‌ තමන් විනාශ කරන්නට කුමන්ත්‍රණය කළ විට ක්‍රි. ව. 632 ජුලි මස එතුමා යාත්‍රිබ් නමැති නුදුරු නගරයට පලා ගියේය. එහිදී පිරිස්‌ බලය වර්ධනය කොට සතුරු පිරිස්‌ පරාජය කළේය. පෙරළා මක්‌කම නගරයට පැමිණ වන්දනා කොට යළිත් යාත්‍රිබ් නගරයට ගිය මහමත්තුමා එහි වෙසෙමින් අවුරුදු ගණනාවක්‌ ධර්මය පතුරුවාලීමෙහි නිරත විය. ඉස්‌ලාමීය වර්ෂය ගණනය කරනු ලබන්නේ මහමත්තුමා යාත්‍රිබ් නගරයට පලා ගිය ගමනේ සිටයි. එය හි-රා යන නමින් හැඳින්වේ. යාත්‍රිබ් නගරය අද හැඳින්වෙන්නේ මෙදිනා යනුවෙනි.
මාසයක්‌ පුරා පැවැත්වෙන රාමසාන් උපවාස සමය තුළ ඉතා වැදගත් ආගමික, ආචාර විද්‍යාත්මක, දාර්ශනික සහ ප්‍රායෝගික අගයක්‌ ඇත. මසක්‌ පුරා උපවාස ශීලය රැකීමෙන් එය රකින අයට කුසගින්න යනු කුමක්‌දැයි හරි හැටි ප්‍රත්‍යක්‍ෂ වෙයි. එවන් ශීලයක්‌ නොරැක තුන්වේල හොඳින් කා බී කුස පුරවන අයට සෙසු සමාජයේ නිරතුරු කුස ගින්නෙන් පෙළෙන ජනතාව ගැන කල්පනා නොවේ. අසරණ දිළිඳු හා රෝගී ජනයාට ධර්මයේ නියමිත පරිදි සකාත් ප්‍රතිපත්තිය අනුව ආහාරපාන ආදිය හෝ ඒවා මිලට ගැනීම සඳහා මුදල් පරිත්‍යාග කළ යුතු බවට මෙම උපවාස ශීලයෙන් කෙරෙන සිහිගැන්වීම ඉතා වැදගත්ය. අනෙක්‌ අතට උපවාස ශීලය නිසා ශරීර යාන්ත්‍රණයට ද ඉස්‌පාසුවක්‌ ලැබේ. එය සෞඛ්‍යයට ද හිතකරය. වේල් දෙකක ආහාරපාන සඳහා කළ යුතු වියදම ඉතිරි වීම එහි තවත් යහපත් ප්‍රතිඵලයකි. මෙය සර්වබලධාරී අල්ලා දෙවිඳු විසින්ම පනවන ලද ධර්ම නීතියක්‌ බැවින් එහි ඇති ආගමික අගය ඉහළය. සිත දමනය කිරීම හා සිත පරිත්‍යාගශීලීත්වය කරා නැඹුරු කිරීම එහි වන සෙසු ප්‍රධාන වටිනාකම් වේ.
ලංකාවේ ඉස්‌ලාම් භක්‌තික පිරිස්‌ රාමසාන් කාලය තුළ අලුයමින් පිබිද මුව කට සෝදා ගනිති. හිරු උදාවීමට පෙර උපවාස ශීලය ආරම්භ කරන ඔවුහු හිරු බැස ගිය විට ආහාර පාන පිළියෙල කොට දවසේ එකම ආහාරය අනුභව කරති. මෙම උපවාසය වයස අවුරුදු හතට අඩු කුඩා ළමුන්, රෝගීන් හා බෙහෙවින් වයස්‌ගත දුර්වල අය හැර ස්‌ත්‍රී පුරුෂ, දුප්පත්, පොහොසත් යනාදී කවර භේදයකින් හෝ තොරව හැමෝම විසින් රැකිය යුතුවේ.


මාසයක්‌ උපවාස ශීලය රකින බැතිමත්තු චන්ද්‍රයාගේ දර්ශනය අනුව නියම කර ගන්නා දිනයක සුපුරුදු පරිදි උදැසන ශීලයෙන් මිදෙති. ඉන් පසු දේවස්‌ථානවලට (mosques) ගොස්‌ නැමඳුම්වල යෙදී අනතුරුව නිවෙස්‌ කරා පැමිණ අසල්වැසියන්ට, විශේෂයෙන් තමන්ට වඩා වත් පොහොසත්කමින් අඩු සහෝදර ජනතාවට ආහාරපාන, ඖෂධ, ඇඳුම් පැළඳුම්, මුදල් හා විවිධ පරිත්‍යාගයන් කරති. බොහෝ විට අසල්වැසියන්ට බෙදා දෙන ආහාර අතර "කුර්බාන්" යන නමින් හැඳින්වෙන එළු හා ගව මස්‌ විශේෂ අංගයකි. මුස්‌ලිම් ධනවත්තු තමන් අවුරුද්ද පුරා උපයන මුදලේ අත ඉතිරි ප්‍රමාණයෙන් 2 1/2% ක්‌ මෙම පරිත්‍යාග හෙවත් සකාත් සඳහා වෙන් කරති. බෞද්ධ, කිතුනු හා හින්දු වැනි ආගමික අසල්වැසියන් මධ්‍යයේ ජීවත්වන මුස්‌ලිම් ජනයා මෙදින ඒ අයටත් ආහාරපාන වලින් සංග්‍රහ කිරීමේ ප්‍රවණතාවක්‌ අද ලංකාවේ පවතී.
රාමසාන් උත්සවය කවර උස්‌ පහත් භේදයකින් හෝ තොරව මුස්‌ලිම් ප්‍රජාව එකට බැඳ තබන ආගමික චාරිත්‍රයකි. අල්ලා දෙවිඳුගේ ආශිර්වාදය නිසා තමන් උපයා ගත් ධනය අන්‍යයන් සමග හවුලේ භුක්‌ති විඳීම රාමසාන් උත්සවය සමග බැඳුණ අගනා සංකල්පයක්‌ බව අවධාරණය කළ යුතුය. හැම ඉස්‌ලාම් භක්‌තිකයකු විසින්ම අනිවාර්යයෙන්ම එම ශීලය රකිනු ලබන නිසා එය එම ප්‍රජාව තුළ ඉතා ප්‍රබල සාමාජීය හා සංස්‌කෘතික බැඳීමක්‌ වනු ඇත.
තාෙරතුරු - දිවයින පුවත්පතෙනි.


No comments:

Post a Comment

පේ‍්‍රමයෙන් අවතැන් ය මනමේ

චණ්ඩතම හිරු මකන විමනේ  මණ්ඩපය ගිනි ගත්ත සයනේ  කණ්ඩණය කළ පුෂ්ප දෙරණේ  බන්ධනය වැදි රජක සරණේ  ගනු කඩුව ඇන මරනු සැණෙකින  පංච ශීලය රකින වැද...