Friday, March 18, 2016

සමලිංගිකත්වය සහ ගීතය




 

සම ලිංගිකත්වය යනු සමාජයේ තාර්කණයට හසුවන මානුෂීය කාරණාවකි.ආදරය යනු දෙදෙනෙකු අතර ඇතිවිය හැකි මානුෂීය සම්බන්ධයකි.එය පුද්ගලානුබද්ධය.හේතුව ආදරය ඇති වන්නේ වෙනස් වූ හේතුකාරකයන් මුල් කරගෙනය.ඇතැමෙක් රූපයට ආශා කරයි තමන් ආශා කරන රූපය හිමි තැනැත්තා හෝ තැනැත්තියට ආදරය කරති.ඇතැමෙක් යම් චරිත ස්වභාවයකට ආශා කරයි එනිසා එවන් ලක්ෂණ හිමි අයෙක් වෙනුවෙන් ආදරය කරති.මෙවන් හේතු සාධක හැර වෙනත් හේතුන් නිසාද ආදරය ඇති විය හැකිය.නමුත් ආදරය යනු මුළුමනින්ම ලිංගිකත්වය හා සම්බන්ධ වන්නක් නොවේ.ලිංගිකත්වය යනු ඉන් මතු මිනිසා හෝ සත්වයා අතර ඇති විය හැකි ජීව විද්‍යාත්මක සාධකයක් වන නිසාය.ආදරය ඇති වූ සැනින් ඊට ලිංගිකත්වය ඈඳා ගැනීම උචිත නොවේ.ඉහත කී හේතුන් ගැහැනියක් පිරිමියෙක් තුලින් හෝ ගැහැනියක් ගැහැනියක් තුලින්ම දැකිය හැකිය.එය පිරිමියෙක් පිරිමියෙක් තුලින්ද දැකිය හැකිය.එවන් සිතුවිල්ලක් පාදක කරගනිමින් ආදරය ඇති විය හැකිය.ආදරය වැඩිවියට පත් වීමේදී,ලිංගිකත්වය යන සාධකය ඊට හවුල් වනු ඇත.මේ නිසාම කාන්තාවක් කාන්තාවක් කෙරේ දක්වන ආදරය අමතක කොට ලිංගිකත්වය පමණක් සාකච්චාවට බඳුන් වෙයි.එසේත් නැතිනම් පිරිමියෙක් පිරිමියෙක් වෙත දක්වන ආදරය ගැන සකච්ඡා නොකොට ඔවුන්ගේ ලිංගිකත්වය කෙරේ පමණක් අවධානය යොමු කරයි.මේ නිසා සම ලිංගිකත්වය යන්න සමාජගත වී ඇත.ඇතැම් රටවල එය නීත්‍යානුකුල කලද මෙවන් සාම්ප්‍රධායික රටක එවන් මානව සබඳතා නීත්‍යනුකුල නොවනු ඇත.එය සාධාරණීකරණය කිරීම පුද්ගලයාට අබිමතව කර ගත හැකිය.






කලාව තුලද සමලිංගිකත්වය ප්‍රස්තුත බවට පත් වී ඇත.ඇතැම් ගීත කිහිපයක් පිලිබඳ අසන්නට ලැබුණි.නමුත් එක හෙලා මෙම කෘතීන් සමලිංගිකත්වය අනුභූතීන් කර ගත්තාද යන්න ගැටළුවකි.
යමුනා මාලනී කිවිඳිය විසින් රචිත ගීතයකි "ගහක මල් පිපිලා" ගීතය.කරුණාරත්න දිවුල්ගනේ විසින් ගයන මෙම ගීතය සංගීතවත් කළේ ගුණදාස කපුගේ .මෙය සමලිංගික ප්‍රේමය ගැන කියවෙන්නක් බව ඇතැම් විචාරක මතයයි.සමරිසි ප්‍රේමය පිලිබඳ මෙවන් පබැඳුමක් කිරීමට යමුනා මාලනී ගේය පද එක් කල අයුරු අපූර්ව වෙයි.






ගහක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි
හිතක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි
නුඹට සිත බඳුනේ කිමැයි මා තවම නොදන්නෙමි
නුඹට සිත බැඳී කාරණේ මම තවම සොයන්නෙමි..


කතරේ වැලි කැට හිරුට පෙම් බැඳ ඇතත් ලෝ දහමින්
සොඳුරු වැස්සට දැවෙන කතරක් ආදරෙයි පණ මෙන්
ලොවට නොපෙනෙන අරුම සෙනෙහස
වගෙයි මනරම්
කරනු බැරි තහනම්





 
සඳට සදහට සෙනෙහෙ පෑමුත්
උදුල තරු කැටයම්
හිරුට පෙම් බැඳී එකම තරුවක් සිටිය නොහැකිද යම්
නුඹට නොහැගෙන මගේ ප්‍රේමය
වගේ මනරම්
පුදුම වෙයි නුඹ නම්...





ගහක මල් පිපීම පුදුම වීමට කාරණයක් නොවේ.නමුත් එය පුදුමයට කාරණයක් වී ඇත.සිතක මල් පිපෙන්නේනම් කුමක් හෝ හේතුවක් පාදක කරගනිමිනි.එය සතුටක්ම විය යුතුය.ආදරය ඇති වීම පුදුමයක් නොව නමුත් මේ හැඟීම පුදුම වීමට කාරණයකි.
"කතරේ වැලි කැට හිරුට පෙම් බැඳ ඇතත් ලෝ දහමින්"කාන්තාරයක දිය දැකිය නොහැක.ගිනියම් වූ පරිසරයට හේතු වන්නේම හිරුය.හිරුගෙන් කුමන පීඩාවක් ලැබුවද කාන්තාරයක වැලි කැට හිරුට පෙම් බඳියි.මෙහි හිරු නම් පුරුෂයාය.පුරුෂ පාර්ශවයේ තේජාන්විත බව මෙන්ම රුදු බව ඉන් අදහස් වෙයි.එම හිරුගෙන් පීඩා විඳින්නේ වැලිකැට වන් ස්ත්‍රී පාර්ශවයයි.හිරු බලවත් වූ එක් පාර්ශවයක් වුවද කාන්තාරයක වැලි කැටනම් අපරිමිත වෙයි.නමුත් ලෝක දර්මය අනුව එවන් ප්‍රේමය සාමන්‍යකි.ලිංගිකත්වය නම් සාධකය ගත් කලද පීඩිතයා වන්නේ ස්ත්‍රියයි.පීඩකයා වන්නේ පුරුෂ පාර්ශවයයි.නමුත් පීඩාවක් නොදෙන සොඳුරු වර්ෂාවට එනම් කතරක වුව වැලි කැට නිවා සනහන්න වර්ෂාව සමත් වෙයි.එවන් වැස්සකට පෙම් බැඳීම කාට හෝ තහනම් කල හැකිද?මෙවන් ප්‍රේමයක් මනරම් බන්දනයක් වන්නෙම එබැවිනි.
සඳ තරු පිරිවරා සිටිත් සඳෙන් එලිය ලබත් සාමන්‍යකි.එවන් තරු කැට සඳට පෙම් බැඳීම ලොව සාමන්‍යකි.නමුත් හිරු පතන එකඳු තරුවක් වේනම් එය ලෝ දහමට අවනත නොවන්නකි.අවනත නොවීම පුදුමයට කාරණයක් වෙයි.එවන් ප්‍රේමයක් ප්‍රකාශනය කිරීමටද අපහසුය.හේතුව දෙවැනි පාර්ශවය පවා මේ දර්මතාවය නොඅදහන බැවිනි.
මේ අනුව මෙම ගීතය සමරිසි ප්‍රේමය අනුභූති කර ගත් බැවු පැහැදිලිය.නමුත් මේ සඳහා ගී පද ලියවුණේ ස්ත්‍රී දෘෂ්ටියකිනි.එනිසාම ස්ත්‍රී පාර්ශවයන් අතර වූ ප්‍රේමයක් ගැන කියවෙයි.නමුත් මේ ගැයෙන්නේ පුරුෂ හඬකිනි.ගායනය සඳහා ස්ත්‍රී හඬක් යොදා ගත්තේනම් වඩා උචිත බව මගේ අදහසය.ඊට හේතුව මුල් පදවල පවා කියවෙන්නේ ස්ත්‍රියකගේ අදහස් බැවිනි. "කතරේ වැලි කැට හිරුට පෙම් බැඳ ඇතත් ලෝ දහමින්" මෙම පදය පවා එවැනි අරුතක් ගෙන දෙයි.
කෙසේවෙතත් කලාව තුල මානසික සහනශීලිත්වය මෙන්ම මානුෂීය බැඳීම් ඉවත නොලා ප්‍රස්තුත ගොඩනැගීම අගනේය.




No comments:

Post a Comment

පේ‍්‍රමයෙන් අවතැන් ය මනමේ

චණ්ඩතම හිරු මකන විමනේ  මණ්ඩපය ගිනි ගත්ත සයනේ  කණ්ඩණය කළ පුෂ්ප දෙරණේ  බන්ධනය වැදි රජක සරණේ  ගනු කඩුව ඇන මරනු සැණෙකින  පංච ශීලය රකින වැද...