සිංහල නව කවියේ වසන්තයක් උදා වී තිබියදී ගොඩගේ සම්මාන විනිශ්චයකරුවනට එය නියඟයක් ලෙස පෙනුණේ කෙසේද කියා තිඹිරියාගම බණ්‌ඩාර මහතා මෑතකදී ප්‍රශ්න කොට තිබිණ. අන් කිසිදු සාහිත්‍යාංගයකට වඩා ඉකුත් දශකයෙහි ලියලා මල් පිපීමක් හටගත්තේ කාව්‍ය සාහිත්‍යයෙහිය යන්න ප්‍රතික්‌ෂේප කළ නොහැකි ඇත්තකි. ඇතැම් ව්‍යාජ විචාරකයන් ඊට පිටුපා සිටීමද එබඳුම සත්‍යයකි. එබැවින් අපට නිගමනය කළ හැක්‌කේ නූතන කවිය විචාරයක් නැතිවම ලියලා යන රමණීය සාහිත්‍යාංගයක් කියාය.
ඉකුත් දශකයෙහි ලියෑවුණ කාව්‍ය බොහොමයක් තැන්පත්ව විමංසනයට හසුකර බැලීමේදී විස්‌සකට වැඩි ඒ මහඟු කාව්‍ය අතරින් රුවන් ත්‍රිකෝණයක් මට මැවී පෙනෙයි. ඒ අත් අකුරු මල්වඩම - නාරජ සහ වේ රජ හා පුරුෂෝත්තම යන කාව්‍යයන්ය. "අත් අකුරු මල්වඩම" ලියු අමිල තේනුවර හා "නා රජ සහ වේ රජ" ලියූ සුමින්ද කිත්සිරි අතිශය තාරුණ්‍යයෙහි කවි ඵලය නෙලූ නිමැවුම්කරුවෝ දෙදෙනෙකි. මේ කවීන් දෙපළගේ රචනා අද දවසේ ප්‍රකම්පනයෙනුත් වචනයේ අභිනව සංඝටනයෙනුත් අර්ථ රස පිරුණේ වෙයි. උදේනි සරච්චන්ද්‍ර 70 දශකයෙහි මොනිකා - බුද්ධි හා ගිය ගමනේ දී අපට හමුවූ කවියා ය. "සොල්දාදුවා සහ විජිතය" ඔහුගේ ප්‍රථම කාව්‍යයේ රශ්මිය එදා අප මුහුණට වැටුණා මතකය. මෑත භාගයේ දී "පුරඟන නැගණියෝ" ලියූ ඔහුගේ නවතම ප්‍රබන්ධය "පුරුෂෝත්තම" ය. මේ ලිවීම මගේ ඒ විඳීමයි. අමිල තේනුවර හා සුමින්ද කිත්සිරි ගැන වෙනම කතා කිරීමට අවශ්‍යය.
"පුරුෂෝත්තම" ප්‍රබන්ධයෙන් නික්‌මෙන්නේ දිගු ගමනකදී කවියාගේ ආධ්‍යාත්මය තුළ වැඩුණු සිතුමෙහි හා විඳුමෙහි ආලෝකයයි. කවියෙකුගේ දිවි සැරිසැරුම කෙතරම් පුදුමාකාර වන්නේද? සමාජය සමග වෙසෙන කවියාගේ පිටස්‌තරයාද ඔහුගේ සිතුම් ලොවෙහි බිහිවන ඇතුළාන්තයා යන දෙදෙනාගේ සහවාසය යෑයි ඔහුගේ කවිය නම්.
උදේනි සරච්චන්ද්‍රගේ කවියෙහි මා සුපැහැදිලිව දක්‌නා මුහුණුවරක් ඇත. ඒ මුහුණුවර අලුත්ය. අලුත් තරමටම පැරැණිය. අලුත් වන්නේ ඔහු වර්තමාන ජීවිතයාගේ හද බඳුනෙහි පත්ලටම අත් දමන නිසාය. පැරැණි වන්නේ ඔහු තම කාව්‍ය හස්‌තය ලෙලවමින් විහිදාලමින් ඒ ජීවන සාරයත්, සමාජ සාරයත් නෙළා ගන්නා සැටියෙන්ය. රීතිය හා බස විසින් කවියා පරිභාවිත කරන්නේ සම්ප්‍රදායානුගත එළිවැට සහිත හා රහිත මාත්‍රානුකූලව පිහිටවූ කාව්‍ය කෘතීන්ය. එමගින් ඔහු ජීවිත භූමිය අවලෝකනය කරන්නේ නවීන දෘෂ්ටියෙන් ආඪ්‍ය කවියකු ලෙසට ය.
සිය ගණනින් ලියෑවුණු ඒකාකාර මව්පිය වරුණ ගී කව් සියයට අනූවක් නීරස හෑලි බව අපි දනිමු. සිය මව්පියන් හා ගැටුම අද දවසේ ජීවත්වන සමාජ සත්වයකුගේ ජීව වේදනාවකි. නව ලෝකය හා දැනුම විසින් ඒ ගැටුම උපදවනු ලබයි. එහිදී කවියාට ඒ තථ්‍ය අප්‍රසන්න දිවි තතුව මඟ හළ නොහේ.
මෑණියන් සමග නිතියෙන
කෙස් වළලු පටලාගෙන
නිබඳව රණ්‌ඩු සරුවල් වන
ඔහු මටවිය පියාණන.
(පියා සිහිව)
මව්පියන් හා දරු සුතන් අතර පැවති පැවතිය යුතු ඒ පාරම්පරික ජීව බන්ධනය සංකීර්ණ සමාජ තලයෙහි ඉරිතලා ගොස් ජීවිතය පලුදු වෙයි. පවුල් සංස්‌ථාව පරමාදර්ශයක් නොවන තැන් කවියා දක්‌වන්නේ තම මව්පියන් අතර වූ ජීවිත කලහය ආවර්ජනය කරන යුවතියකගේ දෘශ්ටියෙන්ය.
පාසල් ගොසින් එන විට
හමුවෙයි ඔහු මගදි මට
තාත්තා දකින විට
සිහිව අම්මා, දුක දැනේ මට
දනව් වැස්‌සන්ගේ කඳුළු පිසලීමට කැපවී වැඩ කරන පරිපාලන නිලධාරිනියක වන ඇයට තම පියාගේ චරිතය සංතාප ගෙනේ.
ගැමි දන නඟා සිටුමට
කැපවී කරන සේවෙට
ගරු සරු අතක් මාහට
දුකින් මා හද පෙළෙයි හැමවිට...
බොරු රූපකාර්ථවලින් තොර මේ සරල රීතිය "ඉඳ ඉඳ එක වෙහෙර - විඳ විඳ දහම් මනහර" යන ගුත්තිලයේ එන සාම්ප්‍රදායික කවි සිරුර සිහිගන්වයි. දෙකේම ඇත්තේ එක්‌බඳු යටපත් වූ ශෝකයක කරුණා සීතල වනියක් නොවේද? වනි ගැන අල්පමාත්‍ර හැඟීමක් නැතිව සඳැස් නිසඳැස් ලියන තරුණ කවීන් සියක් දෙනාට මේ කවිවලින් උගත මනා දෑ බෙහෙවි. ඉහළ සමාජ තලයකට ගිය අර තරුණියගේ රහස්‍ය වේදනාව ඇගේ බුද්ධිමත් චරිතය නිසා වඩාත් අපට මුවහතින් දැනී යයිá
අමිල තේනුවරගේ "තාත්තා" පද්‍ය රචනය තුළද ඇත්තේ ඒ තියුණු දිවි දුකමය.
අමරණීය රිදුමක් පපු කැනැත්තේ
නුඹේ නමින් තියෙනව මගෙ තාත්තේ
කාසි බාගෙ ගේ දොර මට නොමැත්තේ
මේක තමයි නුඹ දුන් මගෙ ආත්මේ
දිළිඳු පුත්‍රයාට තාත්තා උරුම කළ දෙයක් නැත. ඔහු හිස් අතින්ය. ඔහු සතුව ඇත්තේ සිය පියාගේ අහිංසක ආත්මය විතරය. ජීවිත වියවුලකට පත්ව සිය දිවි තොර කරගත් සිල්වියා ප්ලැක් නම් (1963) එංගලන්තයේ විසු ඉංග්‍රීසි කිවිඳියගේ 'DADDY'යන කාව්‍ය ප්‍රබන්ධය නිරූපනය කරන්නේද දූදරු මාපිය ගැටුම්වල ඛේදවාචකයයි.
තාත්තේ මට නුඹව මරා දාන්නයි තිබුණෙ
මට ඊට වෙලාවක් නොදීලම නුඹ මැරුණෙ
උන් නුඹව වළලද්දි මට වයස දහයක්‌ය
වයස විස්‌සෙදීමයි මට මැරෙන්නට සිතුණෙ
ඇය ඒ කව අවසන් කරන්නේ.... තාත්තේ තාත්තේ පාහරයෙක්‌ය නුඹ යනුවෙනි.
මියගිය මිතුරාගේ දියණිය දෙස බලන අප කවියා තුළ ඇය ගැන පිය ස්‌නේහ ජනිත වන ආකාරය කවකින් කියෑවෙයි. පියා සමාජ තරුවකි. දියණියද එසේම බබළයි.
සියක් මිතුරන් මැද
ඔබ පියාණන් සිටියදී
ඉන්ද්‍ර‚ලයක් පරිදිව
ඔහු පෙනුණි මට නිබඳව
පියකරු දියණි පින්බර
විධායක තනතුරක් හොබවන
යනෙන කල හිණි මගේ ඉහළට
සතුටු වෙමි මම පියකු විලසින
උදේනි සරච්චන්ද්‍රගේ කව් ගැබෙහි සිටින චරිතයෝ, පිටස්‌තරයෝ දෙපා නොලද්දෝ නොවෙති. පාඨකයාගේ දිවි හසරට රැස් කැළුම් විහිදන වර්ණවත් ස්‌ත්‍රී පුරුෂයෝය. තම චරිතවලට වග නොකියන, චර්යා ධර්මයෙන් තොර කළකිරීමෙන් දිවි නසාගත් බොහෝ බටහිර ලේඛකයන්ගේ නාස්‌තික වාද කරගසා ගත් මෙරට ඇතැම් අනුකාරකයන්ද කෘතිය තුළ ලේඛකයා මියයන්නේය යන සංකල්ප අනුව සාහිත්‍ය විචාර ලියන්නට පටන් ගත්තේ නූතන සාහිත්‍යයේ ගමන් මඟ කුරෝලු කර දමමින්ය. එලොව මෙලොව දෙලොවට වැඩ නැති විකෘති සාහිත්‍යකට මඟ පාදමින්ය. උදේනි සරච්චන්ද්‍රයන්ගේ කාව්‍ය චරිතයා ජීවන සන්තුෂ්ටියෙන් යුතුය. සමාජ වගකීමෙන් යුතුය.
ගෙවමින් කන්තෝරුවේ උදය ද සවස
විස¹ නොයෙක පැන පොදු යහපත පිණිස
ගම්බිම් නඟා සිටුවෙමි විඳිමින් වෙහෙස
සිහිපත් කරමි හද පිරි සතුටින් මෙලෙස
අඳුර දුව විත් සෙමෙන් අසයි මගෙ කණට කර
හුදෙකලා පාළුවේ සිටින්නේ කෙලෙස ඔබ
ජීවිතයේ නිසි අරුත් දුටුව මිනිසකු විලස
කම්පා ප්‍රකම්පා නෙවන්නෙමි කිසි කලෙක
(හුදෙකලාව - යාම ඊම)
පෙරදිග මෙන්ම බටහිර සාහිත්‍යයේ ද විශිෂ්ට කෘති විමසා බලන්නෙකුට මෙම "චර්යා ධාර්මිකත්වය" ගැඹුරු තලයේ දී හමුවෙයි. ජීවිතය සමාජය පිළිබඳ පහන් සංවේගය දැනවීම නිර්මාණකරුවකුගේ උත්තම අභිලාෂයක් ලෙස ඉන්දීය සාහිත්‍ය විචාරවේදයෙහි දැක්‌වෙයි. උදේනි සරච්චන්ද්‍ර නිරූපනය කරන්නේ සුළුÊමිනිසා වෙනුවෙන් තිරසරව වැඩකළ රාජ්‍ය නිලධාරියකුගේ අවංක කථනයයි. ඔහු විඳින ආනන්ද මාත්‍රයයි.
1931 දී සර් තෝමස් ලෙස්‌ටර් නම් බ්‍රිතාන්‍ය ජාතිකයා මෙරට ආණ්‌ඩුකාරයකුව සිටියදි කෙන්ට්‌හි ලීඩ්ස් මන්දිරයේ ආකෘතිය අනුව හපුතලේ ඉදිකළ ඇඩිසන් මැඳුර කවියෙන් සිතුවම් කර ඇත්තේ පෞරාණිකත්වයේ විභූතිය මූර්තිමත් කරන කවියකු පරිද්දෙනි. මාක්‌ස්‌වාදී දෘෂ්ටියෙන් බලන්නකුට නම් ඔහු තුන්වන ලොව සූරාකෑ අධිරාජ්‍යවාදියෙකි. එහෙත් උසස් කවියකුගේ දැක්‌ම දේශපාලන දෘෂ්ටියට ඉහළින් ගමන් කරන්නකි. ඔහු තුන්වන හතරවන මානවලට පිවිසෙන්නෙකි. කවියා මේ මැදුර දකින්නේ ගිරි හිසෙක මීදුමින් වැසුණු අභිරම්‍ය ගුප්ත විමානයක් ලෙසින්ය.
එංගලන්තෙන් ගෙනා ඕක් ලී කඳන් හැම
දුම්රියෙන් රැගෙන විත් පාරතොට නොමැති වුව
සීතලෙන් මිදෙන්නට රෑ කල්හි ගත පෙළන
සුළං කපොළුව තුළින් කළා උණුසුම් උදුන
ආලේඛ චිත්‍රයෙකි මැදුර මහ සාලයෙහි
සිතුවමට නැගුණි සර් තෝමස් ලෙස්‌ටර්හු
හැඟුම්බර චිත්‍රයක් වීය කිසි දින නොදුටු
දෙනෙත් හරා බලයි අප යනෙන හැම විටදි
(විස්‌කමක අරුමය)
සර් අයිවො ජෙනිංග්ස් දිවි කැපකොට එදා මනෝහර පේරාදෙණි විශ්වවිද්‍යාලය ගොඩනැඟුවා සේ එංගලන්තයේ අනුරුවක් අනුව මෙහි මෙම පරමාකර්ශනීය මැදුරක් තැනූ ඉංග්‍රීsසි ජාතිකයා දෙස කවියා බලන්නේ බටහිර මහාර්ඝ ගෘහ නිර්මාණ ප්‍රඥව උදෙසා ස්‌තෝත්‍රයක් ගයන ගායකයකුගේ විලාසයෙන්ය. මේ කව හා සමතැන් ගන්නා මේ වර්ගයේ අනෙක් කව් පබැඳුම වන්නේ නන්දන වීරසිංහ කවියා රචනා කොට ඇති "බ්‍රොaහියර්Êදසුන" නම් සුන්දර රචනාව පමණි.
"පන්තියේ මිතුරා" පද්‍ය නිර්මාණයද උදේනි සරච්චන්ද්‍රගේ සමාජාවේක්‍ෂාවට යටින් දිවෙන ගැඹුරු මානවීය වාදය පළ කරන්නකි. උස් අසුනකට පත්ව සිටින පරිපාලන නිලධාරියාගේ ලිපිකරුවා ඔහු හා බාල වියෙහි සිට එකට ඉගෙන ගත් මිත්‍රයාය.
එකත්පස්‌ව ලිපි ගොනුවක් අතැතිව
"සර්" කියා මා අමතන බැතියෙන
"ගුණේ" නොවෙද මේ මාගේ සුමිතුරු
බාල වියේ එක පංතියෙ සිසු වූ
එහෙත් නිලධාරියාට ඔහු තාමත් තමාගේ සුහදයාමය.
පැන විසඳන නුවණින් පිරිපුන් ඔබ
කිම ලිපිකරු වී අද මා අබියස
එකකු නිලධාරියකු වන්නත්, ඒ හා දක්‌ෂයකු ලිපිකරුවකු වන්නත් සමාජ ක්‍රමය පමණක් නොව පෞද්ගලික මෙන්ම තර්කය ඉක්‌මවූ තවත් කාරණාද හේතු විය හැකිය. එහෙත් සිය මිතුරා සතු බුද්ධි ශක්‌තිය නිලධාරියා අගයයි.
මිතුදම් සුරැකි පවතිනු නිසැකව
බිතු සිතු රූ මෙන් පිටුපා නොගොසින
මොනිකා රුවන් පතිරණ "දිසාපති කාමරයේ දී" දුටුවේ බොරු මානයෙන් සිත වණයක් කරගත් එකෙකි. උදේනි සරච්චන්ද්‍ර කවියා පිළිබිඹු කරන්නේ එකම අත්දැකුමක වෙනස් මානයකි. මෙය උසස් කවීන් දෙදෙනකු සතු අනන්‍යතාවයේ මෙන්ම දෘශ්ටිමය විවිධත්වයේ පොහොසත්කමයි.
නූතනයාගේ සංකීර්ණ ජීවිත අඩවිය අවලෝකනය කිරීමේ න්‍යාය පත්‍රයක් වත්මන් සමාජය විසින් සෑම නූතන කවියකු අතම තබනු ලබයි. අද ලියන කවියකුගේ පැවැත්ම තීරණය වන්නේ එම සාධකය අනුවය. විශිෂ්ටතර සාහිත්‍යධරයකු වන ගුණදාස අමරසේකරගේ ගද්‍ය සාහිත්‍යය ලද සමාජ පැවැත්ම කවියේදී ඔහු කෙරෙන් අද ගිලිහී යන්නේ ඔහු විසින් සාවද්‍ය තර්කනයකින් එම සමාජාර්ථය පිටුදක්‌නා ලද නිසා බව අද මැදහත් රසිකයාට වටහාගත හැකියි.
"කවිය හද බසකි. එය හද අමතන්නක් මිස අනෙක් සාහිත්‍යාංගයක් මෙන් බුද්ධිය අමතන්නක් නොවේ. කවිය සමාජ යථාර්ථයෙන් දුරස්‌ථ ශුද්ධ සාහිත්‍යාංගයකි..." යනුවෙන් ඒ මහතා ගොඩනැඟීමට තැත් දැරූ විචාර සංකල්පනය කාව්‍ය ඉතිහාසය විසින්ම බැහැර කරනු ලබන්නක් වීය. කවිය හද බසක් පමණක් නොව "හද මනැස් බසක්" බවත්, කවිය තුළ දාර්ශනික භාවාත්මක ක්‍රියාන්විතයක් මෙන්ම සමාජ මෙහෙයුමක් ඇති බවත් වත්මන් දෙස් විදෙස් කාව්‍ය සාහිත්‍යයෙන් දෘශ්‍යමාන වේ. මෑතකදී ඉකුත් සියවසේ ඉංග්‍රීසි කවි දහසකින් සමන්විත බටහිර මහා කාව්‍ය ස ංග්‍රහයක් පළ කෙරුණේ "සියවස කැණීම" (SCANING THE CENTURY) යන ග්‍රන්ථ නාමයෙනි. දැනුම් කම්පන ජාලයක් තුළ නිවස නූතනයා ගේ ජීවිතය භාවේන්ද්‍රිය මෙන්ම බුද්ධීන්ද්‍රිය ද සමග්‍ර වු ක්‍රියාවලියකි. එබැවින් කවියාට සමාජ සංස්‌පර්ශයෙන් වියෝ විය නොහේ.
"බුද්ධිය හා භාවය, තර්කය හා හැඟීම් මනා ලෙස සංකලණය වී තිබීම" උදේනි සරච්චන්ද්‍රගේ කවියේ විශිෂ්ටත්වය ලෙස විමල් දිසානායක සඳහන් කරයි.
"බුද්ධිය හා හදවත අෙන්‍යාන්‍ය පරිපෝෂකයන් ලෙස එක්‌වූ විටය උසස් කාව්‍ය නිර්මාණය වන්නේ හදවත විනිවිද දැකීමට බුද්ධියත්, බුද්ධිය විනිවිද දැකීමට හදවතත් සමත් වන අයුරින් කාව්‍ය රචනා කිරීමට උදේනි සරච්චන්ද්‍රයන් දරා ඇති ප්‍රයත්නය සාර්ථකව තිබේ. (විමල් දිසානායක)
"පුත්‍ර ස්‌නේහය" මෙම හද මනැස් ආමන්ත්‍රණයට මහඟු නිදසුනකි. සයිබර් අවකාශයෙහි සැරිසරණ බුද්ධිමත් ජීවියා සිය උපන් ගෙදරට එන්නේ ඔත්පලව සිටින අම්මා දැකීමටය. ඒ සඳහා ඇත්තේ මඳ අවකාශයකි.
අහස් දුර ගෙවාගෙන පැමිණි කල මව්බිමට
නාදවෙයි ටෙලිපෝන් සෙල්ටෙල් ද පේපර් ද
රේඩියෝ පුවත්පත් නොයෙක වාහිනි සමග
සංලාප සංවාද හමුවලට දින ගන්ට
එහෙත් නවීන පුත්‍රයාගේ ආධ්‍යාත්මය අහෝසි වී නැත.
සිහිවේය මෑණියන් කියා දුන් "සකස්‌කඩ"
"ප්‍රත්‍යශතකය" තවත් හඬ නගා කියත හැක
තාක්‌ෂණය බිහිකළ ලෝකය මිනිස් ආත්ම වඩ වඩා හමුකරවයිද? වියෝ කරවයිද? පිළිතුරු නැති පැනයකි.
දුරු රටක වසන මුත් නේක සම්පත් ඇතිව
දුකඳුරක දී ගිලී ඇත සොවිනි හද නිරතුරුව
මෑණියනි හැඳින්නෙමි පුතු සෙනේ හද පිරුණ
ඔබ අසල වැතිර හිඳ සිහි කරමි පෙර දවස
මෙය අතීත කාමයක් නොවේ. පෞරාණික ජීවන සොඳුර නූතන දෘශ්ටියකින් දැක ගැනීමත්, ඒ නිරූපන කාර්යය උදෙසා සාම්ප්‍රදායික කවි බස හා ආකෘතීන් එහි සීමාවලට ඉහළින් ධව්නි පූර්ණව නිපදවා ගැනීමත් උදේනි සරච්චන්ද්‍රයන් ජයග්‍රහණය කළ නූතන අභියෝගයන්ය. ඔහු බස හා දෙවැනි අරගලයකට යන කවියෙක්‌ද නොවේ. ඒ සියල්ලටම වඩා උදාර නිර්මාණකරුවකුගේ මැදිහත්වීම පැහැදිලිව පසක් කරගත හැකිය. ඒ කුමක්‌ද?
විශිෂ්ට නිර්මාණකරුවා පළමුකොට තම කලාවටද, දෙවනුව තම ජන සමාජයටද කැප වූවෙකි. .